අද (19) දින ජනාධිපති කාර්යාලයේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරත වීමි.

මෙවර අයවැය දත්ත මත පදනම්ව විද්‍යාත්මකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන අයවැයක් බව මම මෙහිදී ප්‍රකාශ කළෙමි.
ඉතිහාසයේ දී විවිධ රජයන් ණය ලබා ගැනීමේදී එම ණය ආපසු ගෙවීමේදී ආර්ථිකයට සිදු වන ගැඹුරු බලපෑම අවධානයට ලක් නොකර ණය ලබා ගෙන ඇති බවත්, තම රජය එවැනි අවිධිමත් ණය ලබා ගැනීම් හෝ අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සිදු නොකරන බවත්, ආර්ථික තිරසාරත්වය කෙරෙහි සිය රජයේ ඉහළම අවධානය යොමු කර ඇති බවත්, මම මෙම සාකච්ඡාවේදී පෙන්වා දුනිමි.
මෙහිදී විශේෂඥ වෛද්‍ය සේවය සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීමමෙන්ම වෘත්තීය ගැටලු පිළිබඳවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් මාගේ අවධානයට යොමු කරන ලදී.
මෙවර අයවැයෙන් සිදු කරන ලද මූලික වැටුප වැඩි කිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම, දීමනා ලබා දීම, ආදායම් බදු සීමාව ඉහළ නැංවීම පිළිබඳව ඔවුහු මා වෙත සිය ප්‍රසාදය පළ කළහ.
සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් සහිත යෝජනා මාලාවක්ද මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීන් විසින් මා වෙත ඉදිරිපත් කරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

78 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »