ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී අද (18) පැවති හමුවේ දී ඒ පිලිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ස්කෑන් යන්ත්‍ර පරිත්‍යාග කිරීම, දෙරට අතර ඓතිහාසික සබඳතා අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳව ද මෙහිදී අවධානය යොමුවිය.
මෙම සාකච්ඡාවට නෙදර්ලන්ත තානාපතිනියගේ සංස්කෘතික කටයුතු පිලිබඳ උපදේශක ක්‍රිෂේන් මෙන්ඩිස්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික උරුම) සුජීවා පල්ලියගුරුගේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු කලාපය භාර සහකාර ලේකම් තිවංකා අතුරලිය ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්වූහ.

112 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »