අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමක් සහතික කෙරේ

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරු සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (03) රැස් වූහ.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිගයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවරපිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිගු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද සාකච්ඡා විය.

බඩඉරිගු ආනයනයේදී නව ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කළ කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා එය ක්‍රියාත්මක වන තුරු පැරණි ක්‍රමවේදය පවත්වාගෙන යාමට උපදෙස් ලබාදුන්නේය.

විවිධත්වයෙන් යුතුව ආහාර තෝරා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීම සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බවද මෙහිදී සඳහන් කෙරිණි.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර සැපයුමක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි.

අග්‍රාමාත්‍ය ලේකම්ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

103 Views
103 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »