ආරක්ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව Anura Kumara Dissanayake

2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව

ආරක්ෂක අමාත්‍යාංශයේත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් වැය ශීර්ෂ විවාදයට ලක් කෙරෙන මෙම අවස්ථාවේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම බෙහෙවින් සතුටු වෙනවා.
මම දැක්කා දවස් කිහිපයක් මුළුල්ලේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වී තිබෙන බවත්, ජනතාව විශාල බියකින් ජීවත් වන බවත් ප්‍රකාශ කෙරුණා. ආණ්ඩුව ඉල්ලා අස් විය යුතු බවටත්, වෙන අයෙකුට භාර දිය යුතු බවටත් ඇතැමුන් ප්‍රශ්නයක් ගොඩනඟමින් තිබෙන අයුරු මම දුටුවා. මේ ප්‍රශ්නය පැන නඟින්නේ කොහොමද කියා අප බැලුවහොත් ඔබට මතක ඇති අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුව ඔවුන් ආරම්භ කළ ව්‍යාපෘතිය වන්නේ මහ මැතිවරණයේ දී ශක්තිමත් බලයක් සහිත ආණ්ඩුවක් හදා ගන්න ලැබෙන්නේ නැහැ කියන එකයි, මහ මැතිවරණයේදී ඔවුන් ආණ්ඩුවක් හදනවා කියලා කිව්වා. මම හිතන්නේ එවිට අගමැති ධුරය, ඇමති ධුර බෙදා ගෙන සිටියා. එහෙත් මහ මැතිවරණයේ දී ජනාධිපතිවරණයේ, ජයග්‍රහණය ආපසු හැර විය හැකි වනු ඇතැයි අපේක්ෂා කළත් ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් එම මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් ලබා ගත්තා.
ඉන්පසුව මාර්තු මාසය වන විට ආර්ථිකය විශාල අර්බුදයකට පත් වනු ඇති බවත්, එම ආර්ථික අර්බුදය හේතු කොට ගෙන ආණ්ඩුව නැවත ලබා ගත හැකි වනු ඇති බවටත් විශාල සාකච්ඡාවක් ගොඩනැඟුවා. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද අපේ තුන්වන සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. ඉන් ඉතා සුබදායී ප්‍රතිඵලයක් ලැබේවි. එම නිසා මෙරට ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරත්වයකට අප ගමන් කරමින් තිබෙනවා.
ඉන් පසුව වාහන ආනයනය විවෘත කිරීමත් සමග විශාල ලෙස ඩොලරයට තෙරපුමක් ඇති වනු ඇතැ’යි මතයක් ගෙන ගියා. එවිට රටට දරා ගත නොහැකි මට්ටමට ඩොලරයට ඉහළ යනු ඇතැ’යි බලාපොරොත්තුවක් තිබුණා. එහෙත්, දැන් ඩොලරයේ අගය තිබුණාටත් වඩා අඩු වෙමින් තිබෙනවා. ඔබ කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇති වන අර්බුදයක් හරහා බලය ලබා ගත හැකියි කියා එය දැන් අවසන් වී තිබෙනවා.
මේ රටේ ආණ්ඩු පෙරුළු ඉතිහාසය දෙස බැලුවහොත් විවිධ අවස්ථා අපි හඳුනා ගන්නවා. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරළනු ලැබුවා. එහෙත් ඔබට එම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයක් හරහා ආණ්ඩුව බිඳ වැටීමට සිහින දකිනවා නම් ඒවා සිහිනම පමණයි. ඒ වගේම ඉතිහාසයේ පක්ෂ තුළ අර්බුද නිර්මාණය කර ආණ්ඩු බිඳ දැමුවා. 2001 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුව වුයේ එම ආණ්ඩුවේ සිටි පිරිසක් අනෙක් පැත්තේ වාඩි වීම. මේ අයුරින් ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා හේතුවෙන් ආණ්ඩු බිඳ වැටුණු අවස්ථා තිබෙනවා.
එහෙත් මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක්. මා දන්නවා ඇතැමුන් උත්සාහ කරනවා පාර්ලිමේන්තුවේ මා ඔසවා තබා අනෙක් අය පහතට දැමීමට. අපි ඒ උගුලට හසු වන්නේ නැහැ. ඒ නිසා අභ්‍යන්තර අර්බුදයක් හරහා මේ ආණ්ඩුව වට්ටන්නත් බැහැ. එමෙන්ම ජාතික ආරක්ෂාවේ මහා බරපතළ තර්ජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳ වැටෙයි කියා සමහරුන් බලා සිටිනවා. එහෙත් එයත් සිදු වන්නෙත් නැහැ. ඒ නිසා ඔබ අලුත් තුරුම්පු ටිකක් සොයා ගත යුතුයි. ආර්ථිකය හෙට වැටෙයි, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වැනි පුරුදු දේශපාලනය ඵලක් වන්නේ නැහැ.
ඒ වගේම ජනතාව පාරට බැස, උද්ඝෝෂණය කර මෑත ඉතිහාසයේ පාලකයෝ පළවා හැරියා. එහෙත් දැන් මාධ්‍ය සාකච්ඡාවක් හරහා ජනතාවට යමක් කියනවා හැරුණු කොට, මේ සභාගර්භයේ ආණ්ඩුවට යමක් කියනවා හැරුණු කොට ජනතාව එකතු කර යමක් කීමට හැකි වෙයි කියා මා සිතන්නේ නැහැ. ඒ නිසා මහජන විරෝධයක් හරහා ආණ්ඩුව පලවා හැරීමට කල්පනා කරනවා නම් එයත් අසාර්ථක බව ප්‍රකාශ කළ යුතුයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙන බවත්, ජනතාවගේ ජීවිත විශාල ලෙස අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙන බවත්, ආණ්ඩුව ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අසමත් වී තිබෙන නිසා පාලනය වෙනස් විය යුතුයි වැනි චිත්‍රයක් ගොඩනැගීමට දැන් උත්සාහ කරනවා. කිසිඳු සාමාන්‍ය පුරවැසියෙක් මෙම පාතාල ගැටුමෙන් හිංසාවට පත් වී නැහැ. නමුත් මෙම පාතාල ගැටුම විසින් සමාජය තුළ යම් භීතියක් නිර්මාණය වී තිබෙනවා. අප එය පිළිගන්නවා. නමුත් කිසිඳු සාමාන්‍ය පුරවැසියෙකුට තමන්ගේ දෛනික කටයුතු පවත්වා ගෙන යාම සඳහා කිසිඳු බාධාවක් හෝ තර්ජනයක් මතුව නැහැ.
ජාතික ආරක්ෂාව පිළිබද තර්ජනයක් මතු විය හැකි ආකාර දෙකක් අප හඳුනා ගෙන තිබෙනවා. ඉතිහාසය දෙස බැලුවොත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ එක් අවස්ථාවක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය. දීර්ඝකාලීන යුද්ධයේදී ජාතික ආරක්ෂාවට තරජනයක් තිබුණා නම් එහි පතුලේ තිබුණෙත් ජාතිවාදය සහ අන්තවාදයයි. පාස්කු ප්‍රහාරය අපේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක් කළා නම් එහි තිබුණෙත් ජාතිවදය සහ අන්තවාදය. ඒ නිසා ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි ක්ෂේත්‍රයක් වන්නේ ජාතිවාදය සහ අන්තවාදය. අපි යළි අපේ රට තුළ ජාතිවාදයට, අන්තවාදයට කිසිසේත්ම හිස එසවීමට ඉඩ දෙන්නේ නැහැ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ ස්ථාවරත්වයේ අපි සිටිනවා. නමුත් සංවිධානාත්මක අපරාධ සහ අන්තවාදී ප්‍රවණතා සඳහා නීතිමය රාමුවක් අවශ්‍ය වෙනවා. එසේ නොමැතිව සංවිධානාත්මක අපරාධ කල්ලිවලට නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ දෙන, සාමාන්‍ය නීතිය උපයෝගි කරගත හැකි සාමාන්‍ය තත්ත්වයකදී සංවිධානාත්මක අපරාධ කල්ලි හැසිරෙනවා නම් එය සාමාන්‍ය නීතිය අබිබවා යන අලුත් තත්වයක්, අලුත් නීතියක් අවශ්‍යයි. ඒ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ සිට අප අද නොවෙයි 1978 පනත ආරම්භ කළ දිනයේ සිට කළු කොඩි දැමූ පිරිසක්. උතුරේ සමහර නායකයොත් කළු කොඩි දැමීමට සම්බන්ධ වුණා. අපි එම ප්‍රතිපත්තිය වෙනස් කර නැහැ.
නමුත්ජාතිකආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ගෙන දිය හැකි සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ජාතිවාදි සහ අන්තවාදී ප්‍රවණතාවන් පිළිබඳ අනතුරක් තිබෙනවා නම්,සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් ඒ සඳහා නව නීති අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අපි සූදානම්. ඒ සඳහා අපි කමිටුවක්ද පත් කර තිබෙනවා. දශක ගණනාවක් මේ රටේ ජනතාවගේ වුවමනාවක්බවට පත් වූ එය යථාර්ථයක් බවට පත් කරන්නේ අපේ ආණ්ඩුව පමණයි.
ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි හුදු අපරාධකරුවන්ගේ එකතුවක්ම පමණක් නොවෙයි. මේ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට කාලයක් මුළුල්ලේ ඉතාමත් නිදැල්ලේ දේශපාලන රැකවරණය මත වර්ධනය වීමට ඉඩ දුන්නා. ඔබ නැගිට අපරාධකරුවෙක්ගේ නමක් ප්‍රකාශ කළහොත් ඒ නම හා සබැඳි දේශපාලනඥයා මට කිව හැකියි. මෙය සැඟවුණ රහසක් නොවයි. අද මෙය මේ රටේ ජනතාව විවෘතව දන්නවා.මේ අපරාධ කල්ලි පෝෂණය වූයේ කවර දේශපාලන නායකත්වයන් යටතේද කියා ජනතාව දන්නවා. ඒ නිසා මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි මේ දක්වා වර්ධනය වීමට එම දේශපාලන නායකත්වයන්ගේ ආශිර්වාදය ලැබුණා.
ඒ නිසයි “අමරේ කලබල වෙන්න එපා මම ඇවිල්ලා ඉන්නේ” කියන කොට අමරේ නිහඬ වෙන්නේ. අමරේ කටහඬින් නායකයා හඳුනනවා. ඒ අයුරින් අපරාධ කල්ලි වර්ධනය වුණා. නමුත් මේ අපරාධ කල්ලි වර්ධනය වීම ගැන අද කිඹුල් කදුළු හෙළන්නේ ඔවුන් පෝෂණය කරමින් ආරක්ෂාව ලබා දුන් දේශපාලන අධිකාරියමයි. ඒ නිසා මේ අපරාධ කල්ලි වර්ධනය වීම පිටුපස දේශපාලන අධිකාරිය සිටියා. ඒ සඳහා තිබු ආශිර්වාදය නිසාම අපරාධ කල්ලි තුළ බිය නැතිව ගියා. ඒ නිසා අපරාධ මැඬ පැවැත්වීමට තිබූ ආයතනවල කුඩා පිරිස්ද ඒවා සමග එකට ගැට ගැසීමට පටන් ගත්තා.
වීරකැටියේ දරුවෝ දෙදෙනා සමඟ එම පුද්ගලයාගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් කොස්තාපල්වරයෙක් සිටිනවා. ඒ වගේම කොළඹ අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමට අදාළව අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරින් දෙදෙනෙක් සිටිනවා. ගල්කිස්සේ පොලිසියේ ටී-56 අවිය පැහැර ගෙන ගොස් පාතාලයට දෙන පොලිස් නිලධාරීන් සිටිනවා. ඒ කියන්නේ දේශපාලන යාන්ත්‍රණයෙන් ආරක්ෂාව වගේම පොලිසියේ යම් යම් කණ්ඩායම්වල මෙම අපරාධ කල්ලි සමග සහ සම්බන්ධතාව තිබෙනවා. මෙය හුදු දඩයක්කරුවන්ගේ ප්‍රශ්නයක් නොවෙයි. තුවක්කුවක් කරේ තබාගෙන ගොස් දඩයමක් පසුපස හඹා යන අපරාධකරුවන් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි සමාජය තුළ තිබෙන්නේ. දේශපාලන රැකවරණ සහිතව, ඒවා මැඬ පැවැත්වීම සඳහා තිබෙන ආයතනයන්ගේද සබඳතා සහිතව මෙම අපරාධ කල්ලි නිදැල්ලේ වර්ධනය වුණා. ටී-56 ගිනි අවි 73ක් පාතාල කල්ලිවලට එනවා. රජයේ අවි ආයුධ පාතාල කල්ලි වෙත ගලාගෙන යනවා. ඉන් 35ක් දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත්, 38ක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අවි ආයුධ ආවේ අපේ පාලන කාලයේ නොවෙයි, ඊට පෙරයි. මෙම ගිනි අවි කඳවුරෙන් එළියට පැමිණීම පිළිබඳ මීට පෙරත් පරික්ෂණයක් දියත් වුණා. එහෙත් රජයේ ඉහළම නිලධාරින්ගේ අනුදැනුම සහිතව මෙම පරීක්ෂණ නතර කිරීමට නියෝග කළා.
අපරාධකරුවන් වෙත නිදැල්ලේ අවි ආයුධ ගලා ගෙන යාමට ඉඩ දුන්නා. සමහර ජනාධිපතිවරුන්ගේ දරුවන්ට බලපත්‍ර සහිත තුවක්කු ලබා දුන්නා. එක් ජනාධිපතිවරයෙකුගේ මද්දුම පුතාට රජයේ ලිපි ලේඛන අනුවගිනි අවි හතක් ලබා දී තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූලව ලබා දුන් අවි ආයුධ හොයා ගන්න නැහැ. ඇතැම් ඒවා යුද හමුදාවට භාර දීලා, සමහර ඒවා අරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා ගෙන පොලිසියට දීලා, සමහර ඒවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අරගෙන ආරක්ෂක අමාත්‍යාංශයට දීලා. මේ අයුරින් රාජ්‍යයක පැවැත්ම පිළිබඳව කිසිදු වගකීමක් නැති පාලනයන් අපේ රටේ තිබුණා. මෙම පාලනයන් තුළින් විශාල අවි ආයුධ තොග අපරාධකරුවන් අතට පත් වුණා.
ඒ නිසා යටිබිම්ගත අපරාධ රාජ්‍යයක් බවට මේ රට පත් වුණා. අපිට එළිය පේනවා පොලිසිය තිබෙනවා, හමුදාව ඉන්නවා, දේශපාලන අධිකාරිය තිබෙනවා. අධිකරණ පද්ධතියක් තිබෙනවා. නීතිඥවරුන් සිටිනවා.එහෙත් මේ යටින් සන්නද්ධ අවි කණ්ඩායම් සිටිනවා. ඊට අනුගත වන පොලිස් නිලධාරින්, හමුදාව සහ නීතිඥයන් සිටිනවා. සාමාන්‍යයෙන් අපරාධකරුවෙක් උසාවියෙන් නිදහස් වූ පසු නීතිඥ මහත්වරු ඊළග නඩුවට යනවා. එහෙත් දැන් අපරාධකරුවන් නිදහස් වූ විට ජීප් රථයේ නැගලා අපරාධකරුවා ගෙදරට ගොස් භාර දෙනවා. මේ ජාලය මේ අයුරින් ගොඩනැගී තිබෙනවා. ඒ නිසා මේ උඩ තිබෙන නීත්‍යානුකූල රාජ්‍ය යට ඒ ප්‍රමාණයෙන් නොවුණත් යටිබිම්ගත අපරාධ රාජ්‍යයක් තිබෙනවා. මෙය සත්‍යයක්.
එහිදී අපට ක්‍රියාමාර්ග දෙකක් ගත හැකියි. එම යටිබිම්ගත අපරාධ රාජ්‍ය සමග අනුගත වී අපට වැඩ කළ හැකියි. ඉතිහාසයේ සෑම දෙනාම මේ යටිබිම්ගත අපරාධ කල්ලිය සමග අනුගත වී වැඩකරගෙන ගියා. කවුරුත් මේකට අතගැහුවේ නැහැ. නමුත් ජාතික ජන බලවේගයේ අපේ ආණ්ඩුව මේ යටිබිම්ගත අපරාධ කල්ලිය සමග හැප්පිලාඑය අපේ රටින් අවසන් කර දමනවා. මේ අයුරින් සංවිධානාත්මක අපරාධ කල්ලි ඉතා නිදැල්ලේ වර්ධනය වෙමින් හා පෝෂණය වෙමින් තිබුණා. අද මම ඔබට ඉතා වගකීමෙන් කියනවා ආණ්ඩුවේ කිසිදුඅයෙකුගෙන් සංවිධානාත්මක අපරාධ කල්ලියකට හෝ එහි සාමාජිකයෙකුට කිසිදු රැකවරණයක්, ආරක්ෂාවක් හෝ ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ කියලා.
පොලිස් දෙපාර්තමේන්තුව ගතහොත්, වර්තමානයේ වැඩබලන අපේ පොලිස්පතිතුමා විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පොලිසිය විශාල ලෙස අපරාධකරුවන් සහ අවි ආයුධ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම විවිධාකාරයේ අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරින්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාලය බිඳ දැමිය යුතුයි. අපරාධකරුවා හුදු අපාරාධයේ කොටස්කරුවන් පමණක් කළ යුතු අතර ජාලයෙන් ගලවා ඉවත් කළ යුතුයි. ඒ නිසා අපි මෙම ජාලය එකිනෙක ගලවමින් යනවා. අපි දේශපාලන මාරුවීම් කරන්නේ නැහැ. මට හෝ අප කිසිවෙකුට අවශ්‍ය පොලිස්පතිවරයෙක් හෝ පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කර ගැනීමට අප කටයුතු කර නැහැ. ඒවා අපේ ලෝකයේ නැහැ.
මෙම අපරාධ කල්ලි මැඬ පැවැත්වීම සඳහා යන ගමනේදී යම් යම් බුද්ධි තොරතුරු වාර්තා වෙනවානම් යම් යම් අපරාධ කල්ලිවලට ආරක්ෂාව දුන්නා, අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියා මහජනතාවගෙන් අදහසක් එනවා නම්, අපරාධ කල්ලියක් පිළිබඳ පොලිසියට දැනුම් දුන් විට පොලිසිය එව නැවත අපරාධකරුවා වෙත දන්වනවා නම් අපි එම පොලිසිය වෙනස් කළ යුතුයි. ඒකට දේශපාලන පත්වීම් කියලා කියන්න බැහැ. එය කිසිඳු අයුරකින් දේශපාලන පළිගැනීමක් හෝ දේශපාලන පත්වීමක් නොවෙයි.අපරාධකල්ලිවල දේශපාලන අධිකාරිය බිඳ දැමීම සේම නිලධාරි යාන්ත්‍රණයද බිඳ දැමිය යුතුයි. ඒ සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා පොදු ජනතාවට වුවමනාවක් තිබෙනවා මේ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්විය යුතුයි කියලා. එය සිදු කරන එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බව ඔබ මතක තබා ගන්න.
එහෙත් අපට සාධාරණ සැකයක් තිබෙන තැනක් තිබෙනවා. මෑත කාලයේසිදුවීම් කිහිපයක් අපි විශ්ලේෂණය කරනු ලැබුවා. මිද්දෙණිය පුද්ගලයෙකුගේ සහ දරු දෙදෙනාගේ ඝාතනය, අලුත් කඩේ උසාවියේ ඝාතනය, කොටහේන, උස්වැටකෙයියාව ඝාතන මෙන්ම ගල්කිස්ස පොලිසියේ අවි පැහැර ගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත භාරදීම, ඒ වගේම මිනුවන්ගොඩ වෙඩි තැබීම යන මෙම සිදුවීම් හය ගත් විට මිනුවන්ගොඩ අපරාධය හැර අනිත් පහම කල්ලි පහක වැඩක්. ඇතැම් විට කල්ලි අතර ගැටුම් සිදු වෙනවා. එහෙත් මෙම සිදුවීම් පහ ගත් විට මේවා කල්ලි පහක වැඩක්. එසේ නම් සංවිධානාත්මක අපරාධ කල්ලි එක විට සක්‍රිය වී තිබෙනවා. මෙවැනි සන්නද්ධ සක්‍රියතාවකට ආ හැකි තැන් දෙකක් අපි හඳුනා ගෙන තිබෙනවා. එකක් මඩකළපුව, අනෙක උතුර. සමහර අය විසින් තමන්ට මෙහෙය විය හැකි සන්නද්ධ කණ්ඩායම් ගොඩනඟා තිබෙනවා. මඩකළපුව, යාපනයේ එවැනි කල්ලි ගොඩනඟා ගෙන තිබෙනවා. ඒ නිසා අපි හිතනවා මේවා එකවිට සක්‍රියතාවට ගෙන ඒම පිටුපස යම් සැලසුම් සහගත කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා.
මෙම කුමන්ත්‍රණ දියත් වන්නේ නිකන් නොවෙයි, බොහෝ අය අපිට කිවුවා පසුගිය කාලයේ සිදු වූ ඝානයන් පිළිබඳ, වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ නැහැ කියලා. මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් කියනවා අපට දැන් පරීක්ෂණ තත්ත්වය කියන්න කියලා.
ආර්ථික කඩාවැටීම පිළිබඳ අපේක්ෂාව බිඳ වැටෙන විට, ආණ්ඩුව තුළ අර්බුදයක් ඇති වී ආණ්ඩුව කඩා වැටෙනු ඇති බවට වන අපේක්ෂාව බිඳ වැටෙන විට, මහජන විරෝධයක් හරහා ආණ්ඩුව කඩා වැටෙයි කියන අපේක්ෂාව බිඳ වැටෙන විට දැන් සැලසුම් සහගතව සන්නද්ධ කල්ලි සහ අපරාධ කල්ලි වෙන වෙනම ක්‍රියාත්මක වෙනවා, එහෙත් එක් හස්තයකින් මේවා මෙහෙය වනවාද කියන සාධාරණ සැකය අප ඉදිරියේ තිබෙනවා. ඒ පිළිබඳ ඇතැම් වාර්තා ලැබී තිබෙනවා. අපි ඒ පිළිබඳ පරික්ෂණ පවත්වනවා. මේ රට තුළ යම් අස්ථාවරත්වයක් පිළිබඳ මතය නිර්මාණය කිරීම සඳහා කරන මෙහෙයුම්ද, ඇයි එම මෙහෙයුම්වල තදියම්භාවයක් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ.
අපි දන්නවා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතන මගින් සිදු කරනවා. පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම පරීක්ෂණ මත අධිකරණ පද්ධතියට බී වාර්තා ඉදිරිපත් කර අවශ්‍ය නම් රිමාන්ඩ් භාරයට ගත හැකියි. හැබැයි අපරාධයක් පිළිබඳ ප්‍රශ්නයකදී එය ප්‍රමාණවත් වන්නේ නැහැ. එම පරීක්ෂණ නිසි පරිදි අවසන් කර මහාධිකරණය වෙත අධිචෝදනාපත්‍ර භාරදීම සිදු කළ යුතුයි. එය තමයි රජයේ පාර්ශ්වයෙන් ඕනෑම අපරාධයක් පිළිබඳව කරන අවසාන ක්‍රියාවලිය. ඉන් පසුව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධකරුවන්ගේ නීතිඥයන් අතර සංවාදය අධිකරණයේ දී යනවා.
එසේ නම් අපේ වැඩ කොටස වන්නේ මෙම පරික්ෂණ සිදු කර අධිචෝදනාපත්‍ර හරහා මහාධිකරණයේ නඩු ගොනු කිරීමයි. මෑත කාලයේ නඩු විශාල ප්‍රමාණයක් ගොනු කරමින් තිබෙනවා.මේ වන විටක්‍රිෂ් නඩුව මහාධිකරණයේ ගොනු කර තිබෙනවා. එයාර්ලංකා නඩුව ඉතා ඉක්මනින් මහාධිකරණයේ චෝදනාපත්‍ර ගොනු වේවි. ඒ වගේම කීත් නොයාර් නඩුව ඉතා ඉක්මනින් මහාධිකරණයට එනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු වෙනවා. මෙම පරීක්ෂණ කිසිවක් අපි මාධ්‍ය සාකච්ඡා තබා හෝ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නැහැ. එම පරීක්ෂණ තත්ත්වය අපි අධිකරණයට වාර්තා කරනවා. අපේ බැඳීම එයයි. පරික්ෂණවල තත්ත්වය මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීම මීට පෙර සම්ප්‍රදායක් බවට පත්ව තිබුණා. පරීක්ෂණ මට්ටම, එහි ප්‍රමාණයන් මාධ්‍ය හරහා පැවසීම යනු අනියම් ආකාරයකින් චූදිතයන්ට සැඟවීමට සහ පරීක්ෂණවලින් ගැලවීම සඳහා වාර්තා ඉදිරිපත් කිරීමක්. ඒවා සංදර්ශන පරීක්ෂණ. නමුත් අපි සංදර්ශන පරීක්ෂණ තබන්නේ නැහැ.
ඔබට මතක ඇති අරුගම්බේ සිදුවීම පැන නැගීමට හේතු වුයේ රට ඇතුළෙහි තත්ත්වයක් නොවෙයි, ජාත්‍යන්තර වශයෙන් මතු වී තිබූ ගැටලුවක් පාදක කර ගනිමිනුයි. අරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බව බුද්ධ අංශ අපට වාර්තා කළා. අපි එය මාධ්‍යයට කිව්වේ නැහැ. එහෙත් සමාජයේ සන්සුන්භාවය තබාගෙන මහජනයාට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙමින් ආරුගම්බේ පිළිබඳ පරීක්ෂණ කිරීමට අප කටයුතු කළා. අපේ කිසිඳු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවේ හෝ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍ය මගින් හෝ ආරුගම්බේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නැහැ. ඒවා පරීක්ෂණ. අපරාධයක් වළක්වා ගැනීම සඳහා යන ගමන. අපි ආණ්ඩුවක් ලෙස හැසිරෙන්නේ වෘත්තීමයභාවයෙන් යුතුවයි. තොරතුරු ලැබි දින දෙකක් යන්න කලින් අපි තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා. අවසානයේ අපි හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. අපි පරීක්ෂණ සිදු කර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමයි ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය එහි පුරවැසියන්ට ලංකාවේ සංචාරය කිරීම පිළිබඳ අවදානම් ප්‍රකාශයක් නිකුත් කළේ. එවිට අපි පරීක්ෂණ කර කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන අවසන්. අපි සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ඉඩ දුන්නේ නැහැ. මහජන සන්සුන්භාවය බිඳ වැටීමට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම ආර්ථිකයට බලපෑමක් වීමට ඉඩ තැබුවේ නැහැ. නමුත් අරුගම්බේ ප්‍රහාරය වළක්වා ගෙන එය සැලසුම් කළ අය අත්ඩඅංගුවට ගත්තා. ඒ අනුව ඉතා කෙටි කලක් තුළ එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කළ අවදානම් තත්ත්වය පහව ගියා කියලා.
ඒ නිසා අපි අපරාධ පිළිබඳ පරීක්ෂණ සිදු කරමින් තිබෙනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 16ක් ගත වී තිබෙනවා. අපරාධකරුවන් සොයා ගත නොහැකි අපරාධයක් මහ දහවල් සිදු ව තිබෙනවා. එය සිදු වූයේ කොහොමද කියලා දළ අදහසක් සමාජය තුළ තිබෙනවා. එහෙත් අධිකරණයට දළ අදහස වැඩක් නැහැ. අධිකරණ පද්ධතියට අවශ්‍යයි සැකයෙන් ඔබ්බට ගිය තහවුරු කිරීමක්. ඉතා වැදගත් සාධක අවශ්‍යයි. මෙම වැදගත් සාධක වසර 16කට පසු එක් රැස් කිරීම පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් අප එය කරනවා.
මේ අපරාධකරුවන්ට දඩුවම් ලබා දීම සඳහා හොඳම අවස්ථාවක් 2015 වසරේදී තිබුණා. පරීක්ෂණ නැවුම්. නමුත් එය කළේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුවට ෆයිල් එකක් යොමු කර පිළිතුරු එවීමට වසර දහයක් ගත වුණා. එය නීතිපති දෙපාර්තමේන්තුවේ වැරද්දක් නොවෙයි, ඒ පිළිබඳ දේශපාලන අධිකාරියේ තිබූ අවශ්‍යතාවයි. මේ සත්‍යය ඔබ පිළිගත යුතුයි. රට අවුස්සන විපක්ෂයක් නොවුවාට, සිදු වන සැබෑ සිදුවීම් පිළිබඳ සැබෑ හැඟීමකින් ඔබ කටයුතු කරන්නේ නැහැ.
අපරාධකරුවන්ට රිසි සේ කටයුතු කිරීමට අපි අවස්ථාව දෙන්නේ නැහැ. අපරාධ කාලයේ වැලිතළාවෙන් යට වීමට ඉඩ නොතබා, වින්දිතයන්ටත්, මේ රටේ පුරවැසියන්ටත් සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමේ වගකීම අපිට තිබෙනවා. එම වගකීම දෙවුර මත තබාගෙන අපි කටයුතු කරන අතර කිසිදු අත්වැරුද්දක් වීමට ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ හිටපු නායකයන්ට වඩා අපේ නායකයන්ව විශ්වාස කරන්න.
ඒ සඳහා අපට සහාය දෙන්න. මැතිවරණයේදී දේශපාලනය කරන්න. එහෙත් මේ රටේ අල්ලස දූෂණය මැඬ පැවැත්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ පිළිබඳ අපි ඉතා වගකීමෙන් කටයුතු කරනවා.
එම පරික්ෂණ ගමන් කරමින් තිබෙන්නේ කවර දිශාවටද, එම පරික්ෂණවල ඉලක්ක බවට පත් ව තිබෙන්නේ කවුරන්ද යන්න පිළිබඳ විමසීමේදී අපිට වඩා අපරාධකරුවන් දන්නවා තමන්ගේ දිශාවට එම පරික්ෂණ එල්ලවෙමින් තිබෙන බව. එයාර් ලංකා ගනුදෙනුව, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ දියත් වන විට අපාරධකරුවන් දන්නවා පරික්ෂණයේ හස්තය තමන්ගේ දිශාවට එල්ල වෙමින් තිබෙන බව. එවිට අපරාධකරුවන් ඉතා සැලසුම් සහගතව මෙවැනි අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරනවාද යන සාධාරණ සැකය අපට තිබෙනවා. එසේ නොමැතිව කල්ලි පහක්, හයක් එක විට මෙහෙයවිය හැකිද? ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස අපි පොලිස්පතිවරයාටත්, බුද්ධි අංශයටත් උපදෙස් දී තිබෙනවා. එවැනි අවශ්‍යතාවක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් තව කවර ආකාරයේ සිදුවීම් සිදු විය හැකිද කියා අපි හඳුනා ගෙන තිබෙනවා. අපි එම වගකීම ඉටුකරමින් තිබෙනවා.
ඒ නිසා මෙහි තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් හෝ මහජන ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නෙවෙයි, හුදු සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්ෂණික නැගී සිටීමක්. අපි එය ඉතා ඉක්මනින් මැඬ පවත්වමින් තිබෙනවා.
අපි අලුත් ආරක්ෂක මණ්ඩලයක් හදලා තිබෙනවා කියලා කියනවා. එය සත්‍යයක්. පරණ ගමන යන්න පුළුවන් පරණ අයත් එක්ක. නමුත් අලුත් ගමනක් යන්න නම් අලුත් අය අවශ්‍යයි.පැරණි යාළුකම්, මිත්‍රකම් තිබිය හැකියි නමුත් අපි මේ සියල්ල වෘත්තිමය හමුදාවක් බවට පත් කරනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු 07ක් තිබෙනවා. ඔහු තබාගෙන සිටියේ තමන්ගේ ගෝලයා ලෙසයි. නමුත් මේ කිසිදු පත්වීමක් අපගේ ගෝලයෝ හෝ මිතුරන් නොවෙයි. අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව වෘත්තීමය හමුදාවක් ලෙස ස්ථාපිත කළ යුතුයි.
එදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනාධිපතිවරයාගෙන් පසුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස ස්ථාන ගත කිරීමේ සැලසුම් තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට සේවා දිගු දෙකක් දී තිබෙනවා. එදා තිබුණේ වෘත්තීමයභාවය නෙවෙයි ගෝලකම. අපි ගෝල බාලයන්ගේ හමුදවක් හදන්නේ නැහැ. දේශපාලඥයාට පක්ෂපාති හමුදාවක් වෙනුවට රජයට පක්ෂපාතී වෘත්තිමය හමුදාවක් අපි හදනවා.
2030 වන විට අපේ යුද හමුදාව ලක්ෂයට සීමා කරනවා, ගුවන් හමුදාව 18,000කට සහ නාවික හුමදාව 40,000ක සීමාවකට ගෙන එනවා. ප්‍රමාණය අඩු වෙනවා. එහෙත් තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම නවීන උපකරණ ලබාදී ඉතා තියුණු මනසක් සහිත වෘත්තීමය හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම අපේ ඉලක්කයයි. ඔවුන් පුද්ගලයාට පක්ෂපාති හමුදාවක් නොව රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක්.
ඒ වගේම හමුදාවට විදෙස් පුහුණුව සඳහා අවශ්‍ය මුදල් වැය කිරීමට අපි සූදානම්. ගුවන් යානා නවීකරණය වෙනුවෙන් අපි විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. ඒ වගේම වඩා සක්‍රීය පුහුණුවක් සහිත පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අපට තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. පොලිසියට අවශ්‍ය වාහන ලබා දීමට, පොලිස් ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීමට මිලියන දාහක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. දීමනා වැඩි කර තිබෙනවා. ඒ අනුව නිදහස් මානසිකත්වයෙන් කටයුතු කළ හැකි පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට අපි සැලසුම් කර තිබෙනවා.ඒ වගේම පොලිසියට අලුතින් දහ දාහක බඳවා ගැනීමට අපි කටයුතු කරමින් තිබෙනවා.
අපේ රට අශිෂ්ට රාජ්‍යයක සිට ශිෂ්ටත්වය කරා ගෙන යාමට අපි කටයුතු කරනවා. ආරක්ෂාව පිළිබඳව බැඳී සිටින ආයතන එය ඉටු කිරීම ශිෂ්ටත්වයයි. ඒ නිසා යළි අපේ රටේ ආයතනවලට පණ දෙමින්, එම ආයතනවලට පැවරී තිබෙන වගකීම් ඉටු කරමින් මෙම යාන්ත්‍රණයට පණ පොවනවා. පොලිස්පතිවරයා අද සිටිය හැකියි, හෙට නව පොලිස්පතිවරයෙක් පත් විය හැකියි. ඒ නිසා පුද්ගලයා නොව ආයතන පද්ධතිය මත විශ්වාසය තබන ශිෂ්ටත්වය කරා අප යා යුතුයි.
අශිෂ්ටත්වයේ පතුලටම ගිලගෙන තිබෙන රාජ්‍ය යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමට එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා. ශිෂ්ටත්වය විශ්වාස කරන්න, අශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කරන්න. කිසිවෙකු ශිෂ්ටත්වය ප්‍රතික්ෂේප කරන්නේ නම් අප ගොඩනඟන මෙම නව දේශපාලන සංස්කෘතිය තුළ ඔවුන්ව නියත වශයෙන්ම දේශපාලනයේ කුණු කූඩයට තල්ලු වන බව ප්‍රකාශ කළ යුතුයි.
ලංකාවේ අශිෂ්ටත්වය පදනම් කරගත් දේශපාලනයක් තිබුණා නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පාලනයෙන් පසු යළි එවන් දේශපාලනයකට රට විවෘත නොවන බව ඔබ මතක තබා ගන්න. මෙය හැරවුමක්. ඔබට ආණ්ඩු බලය ගැනීමට අවශ්‍ය නම් අපට වඩා ශිෂ්ටත්වයෙන් ඉහළට යන ලෙස මම ඔබට ආරාධනා කරනවා. එකිනෙකා කොට වන දේශපාලනය මේ රටේ ප්‍රබුද්ධ ජනතාව දැන් පිළිගන්නේ නැහැ. ඒ නිසා කුමන්ත්‍රණවලින් ආණ්ඩු බලය හුවාමරු කළ යුගය දැන් අවසන් වී තිබෙනවා. ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් ආණ්ඩු බලය ලබාගත් යුගය අවසන් වී තිබෙනවා. ඉදිරියේ දී දේශපාලන වේදිකාවේ එකම සංවාදය විය යුත්තේ අප මේ ගොඩනගා තිබෙන ශිෂ්ටත්වයට වඩා උතුම් ශිෂ්ටත්වයක් ගොඩනැගීම පිළිබඳවයි.
එසේ නොමැතිව යළි මේ රට පහතට ඇද දමන දේශපාලනයට ඉඩක් විවෘත වන්නේ නැහැ. අපි සමාජයට පිළිගත හැකි යහපත් නිර්නායකයන් පද්ධතියක් ගේනවා. මම දුටුවා එක් ජනාධිපතිවරයෙක් රට යන්න මිලියන 3500ක්වියදම් කර තිබෙනවා. එය ප්‍රශ්නයක් නෙවෙයි, නමුත් මිලියන 1.8කින් ගියේ කොහොමද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ අලුත් වෙන්න ලෑස්ති නැහැ. ඔබ පැරණි, සාම්ප්‍රදායික අසාර්ථක දේශපාලන සාකච්ඡාවෙන් එළියට එන්න. ඒවා දේශපාලන ෆොසීල. අපේ රටේ දේශපාලනය මීට වඩා අලුත් තැනකට ගෙන එන්න නව සංවාදයකට එන්න. අපි එම සංවාදයට සූදානම්. එම ඕනෑම හොද දෙයක් අපි උකහා ගැනීමට සූදානම් පිරිසක්.
ලංකාවේ දේශපාලනය තුළ මෙතෙක් අශිෂ්ටත්වයේ ගමනක් තිබුණා නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ලෙස අද මම ඔබට සහතිකයක් ලබා දෙන්නම් එම අශිෂ්ටත්වයේ පාලනය අවසන් කළ පාලනය බවට මේ පාලනය පත් වෙනවා. ඒ පිළිබඳ කිසිදු සැකයක් තබාගන්න එපා.

102 Views
102 Views

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »